සුදීක්ෂා epi 03

Blog Image
By Ahinsa Stories      Novels (නවකතා)

0️⃣3️⃣ කොටස ❛❛ ආ හෙලෝ.... දවල් දොළහටත් ළඟ වුණාට මොකද මේ සුබ දවසෙ වෙරි ගුඩ් මෝනිං කිව්වා බොස් ඔන්න... මං දැන් මේ තැනට යන ගමන් ඉන්නෙ... ඔව් බොස්.. අර ඉන්නෙ පාර අයිනෙ මට පේන දුරින් සුදු හංසියක් වගේ දිලිසි දිලිසි... ඕකේ බොස්... එහෙනම් හම්බ වෙමු.. හරී... හතරවරං දෙයි හාමුදුරුවන්ගෙ පිහිටයි... ❜❜ රණේ දුරකථන ඇමතුම විසන්ධි කළේ ඈතින් පේන සුදීක්ෂා දිහා බලලා තොල කටත් ලෙවකමින්මයි... කොහොමත් සිංහ හම පොරවගෙන ඉන්න ලොක්කෙක් වුණු සම්පත් කාලා ඉතුරු වෙන කටු ටික නම් අනිවාර්යයෙන්ම රණේට ලැබෙනවා... ඔව්.. ඇත්තටම රණේ කියන්නෙ බ/ල්ලෙක්.. නිකං නෙවෙයි.. කටු කන බ/ල්ලෙක්... මේ මොකුත් නොදන්න අසරණ කෙල්ල සුදීක්ෂා රණේව තමන්ගෙම සහෝදරයෙක් වගේ විශ්වාස කරනවා... කෙල්ලට අද හරි සතුටුයි.. නිල්මිණී අක්කා අරන් දුන්නු ලස්සනම ලස්සන අත් දිග හැට්ටෙට ඇඟටම හිර වුණු කොට සාය ඇඳලා ලස්සන උස අඩි සෙරෙප්පු දෙකකුත් දාගෙන කෙල්ල බලන් හිටියෙ රණේ එනකං... ඒ කෙල්ලගෙ ජීවිතේ දිනන ගමන යනවා කියලා හිතාගෙන.... ❛❛ හානේ...... අයියා අද බයික් එකේද ආවේ...? ❜❜ තමන් ගාවින්ම නවත්වපු රතු පාට අපාචි වර්ගයේ යතුරු පැදිය දැකපු ගමන්ම සුදීක්ෂා ඇහුවෙ පුදුමයෙන්... ❛❛ නැතුව ඉතිං අර කබල් චූං පාං ත්‍රීවීල් එකේ යන්න පුළුවන් ද මේ වගේ සුබ ගමනක්... ඇරැත් මේ හංස පැටික්කියෙක් වගේ ඉන්න සුදු නංගිව එක්කං යන්න පුළුවන් ද ඒකේ.... ❜❜ ❛❛ අනේ... ඒ වුණාට.. අයියේ.... ❜❜ ❛❛ මොකක්ද ඒ වුණාට මේ වුණාට ගාන්නෙ... නගින්න නගින්න... පරක්කු වෙනවා.. එන්න හෙල්මට් එක දාන්න...❜❜ රණේ බලෙන්ම වගේ සුදීක්ෂාට හෙල්මට් එක දාලා බයික් එකට නග්ගගත්තා... ඒත් සුදීක්ෂා නම් හිටියෙ හොඳටම බය වෙලා... දාඩියත් දාලා... අත් දෙකත් වෙව්ලනවා.. කෙල්ල බයික් එකක යන පළවෙනි වතාව මේ... ටික දුරක් යනකංම සුදීක්ෂාගෙන් වචනයක්වත් කියවුණේ නැති නිසා රණේම කතා කළා... ❛❛ ඇහුණද සුදු නංගි... ❜❜ ❛❛ මොකක්ද අයියේ...? ❜❜ ❛❛ අර ත්‍රීවීල් කට්ටෙ එන්නැතුව මෙහෙම කිට ම/රලා බයික් එකෙන් ආපු එක ගැන නම් දැන් මටම මං ගැන සතුටුයි... ❜❜ ❛❛ එ... ඒ... ඇයි අයියෙ? ❜❜ ❛❛ නෑ ඉතිං... සුදු නංගි මෙහෙම ගිනි කිකිළි වගේ යනකොට මම හිඟන්නා වගේ යන එක හරි නෑනෙ... සම්පත් මහත්තයා වුණත් මොනවා නොහිතයිද... අනෙක දකින එවුන් ඉස්සරහ නංගිටත් නෝණ්ඩියිනෙ... ❜❜ ❛❛ අනේ එහෙම දෙයක් නෑ අයියෙ... මිනිස්සුන්ගෙ ලස්සන වෙන්න ඕන හිත්... බාහිරට මොන තරම් ලස්සනට හිටියත් හිත් ලස්සන නැත්නම් ඔය කොයි කාගෙන්වත් වැඩක් නෑනෙ... ❜❜ සුදීක්ෂා මොකුත්ම නොහිතා ඔහේ කටට ආවට කියපු දෙයක් වුණත් ඒක වැදුණෙ රණේගෙ පපුවටම... ඒ මුහුණෙ තිබුණු කෑදර හිනාව නැති වෙලා ගියේ මුළු මුහුණම අඳුරු කරමින්.... සම්පත්ගෙ කාර්යාලය තියෙන තැනට යනකන්ම ආයෙ රණේ වචනයක්වත් කතා නොකළෙ ඒ නිසාමයි... වෙනදට බ්‍රේක් නැතිව කියවන සුදීක්ෂාගෙ කටත් අද ගොළු වෙලා තිබුණෙ හිතේ තියෙන චකිතය සහ බයටමයි... පැය බාගයක විතර ගමනකින් පස්සෙ රණේගෙ යතුරු පැදිය නැවතුණේ විශාල කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට.... කලින් අවසර වෙන් කරවාගෙන තිබුණු නිසාම රණේගෙ නම කියපු ගමන් ගේට්ටුවත් ඇරුණෙ සුදීක්ෂාගෙ ඇස් පුදුමයෙනුත් රණේගෙ ඇස් අධික මාන්නයකිනුත් පුරවමින්... සෙනේ ඇපරල්ස් කිව්වම සුදීක්ෂා හිතාගෙන හිටියෙ මහා විශාල තට්ටු සීයක් විතර උස ලොකූ තනි ගොඩනැඟිල්ලක් කියලා... ඒක ගාමන්ට් ෆැක්ට්‍රි එකක් කියලා නිල්මිණී අක්කා කියපු දේවත් සුදීක්ෂාගෙ ඔළුවට ගිහින් තිබුණෙ නෑ.... තට්ටු සීයක් නැතත් සුදීක්ෂා හිතුවටත් වඩා බිල්ඩින් ගොඩාක් තිබුණා... හරියට අමුතු ලෝකයක් වගේ... හරිම පිළිවෙලට ලස්සනට හැමදේම තිබුණා... යතුරු පැදිය රථ ගාලෙන් නවත්වපු ර⁣ණේ පිළිගැනීමේ කවුන්ටරය වෙත ගියේ සුදීක්ෂාට ඒ ළඟම තිබුණු සෝෆාවකින් ඉඳගන්න කියලමයි... බැලූ බැල්මට ඒ පිළිගැනීමේ නිළධාරිනියන් දෙපළත් රණේ එක්ක හරි හිතවත් වගේ... ❛❛ සුදු නංගි සම්පත් මහත්තයා නම් පොඩි මීටින් එකකලු.. නංගි චුට්ටක් ඔතනින් ඔහොම ඉඳගෙන ඉන්නකො... ❜❜ පිළිගැනීමේ නිළධාරිනියන්ට සමුදුන් රණේ සුදීක්ෂා ළඟට ඇවිත් කිව්වා... ❛❛ එතකොට අයියා? ❜❜ සුදීක්ෂා හිටියෙ හොඳටම බය වෙලා... ❛❛ මට පොඩි කෝල් එකක් ගන්න තියෙනවා සුදු නංගි.. චූං පාං ත්‍රීවීල් එක කොල්ලෙක්ට බාර දීලා ආවෙ.. ඒක පොඩ්ඩක් බලන්නෙපැයි... නංගිට ඉස්සරහට හොඳ හොඳ සම්තිං ලැබුණට මේ අසරණ අයියට තියෙන්නෙ ඔය චූං පාං කෙරුවාව විතරයිනෙ... ❜❜ ****************************************** ❛❛ හෙලෝ බොස්.... දැන් අපි මෙතන පැය දෙකකට වඩා කට්ට කෑවනෙ අප්පා... ❜❜ ❛❛ අයිසේ... වුවමනාව අපේ වුණාට ඒකිට දැනෙන්න දෙන්න ඕන අපිට ඒකිගෙන් වැඩක් නෑ කියලා.. ඒකිට ඕන නිසයි අපි මේ රස්සාවක් දෙන්නෙ කියලා... ඉතිං ඩිංගක් රස්තියාදු වුණාට මොකද... බළලා දඩයම එකපාර කන්නෙ නෑ ඕයි.. සෙල්ලම් කර කර ටික ටික වද දෙනවා... ❜❜ සම්පත්ගේ සිනහ හඬ ඉබේම ර⁣ණේගෙ මුහුණටද සිනහවක් ගෙනාවා.... ❛❛ හරි බොස්... මං ඉන්නම්කො.. බොස් මට සළකනවනෙ.. පැය දෙක නෙවෙයි සති දෙකක් වුණත් ඉන්නම්කො... ❜❜ ❛❛ නෑ නෑ... ත/මුසෙ දැන් යනවකො රිසෙප්ෂන් එක ගාවට... පව් අර කෙල්ල.. ලෝබයි මැළවිලා බය වෙලා ඉන්න හැටි දැක්කම.. මේ සීසීටීවී එකෙන් අත දාන්න පුළුවන් නම් මං දැන් අල්ලලා බදාගන්නවා...❜❜ ❛❛ හරි බොස් එහෙනම් මැලවුණු මලට වතුර ගහලා ගන්නකො... අපිටත් බැරියැ තැලුණු පෙත්තක් හරි ඉඹින්න... ❜❜ දුරකථන ඇමතුම විසන්ධි කළ රණේ සුදික්ෂා දෙසට ඇවිද ගෙන ගියා... සම්පත් කිව්වා වගේම කෙල්ල මැලවිලා ගිහින්.. බයටයි මහන්සියටයි බඩගින්නටයි වෙන්න ඇති වායුසමනය කරලා තියෙන කාමරය ඇතුළෙත් කෙල්ලට හොඳටම දාඩිය දාලා... ❛❛ සුදු නංගි..... ❜❜ රණේ⁣ගෙ කටහඬින් සුදීක්ෂා ගැස්සිලා ගියා.. ❛❛ අ... අයි... අයියෙ... ❜❜ ❛❛ මොකද මේ බය වෙලා... අයියෝ ළමයො ම/ර/න්/න ගෙනාවා නෙවෙයිනෙ.. ඔයාට රස්සාවක් ඕන කියපු නිසයි මේ ආවෙ.. කෙල්ලෙක්ට බයක් සැකක් නැතිව දියුණු වෙනවා නම් ආයෙ සුපිරිම තැන මේක තමයි.. අනෙක නංගිව එක්කං ආවෙ මේකෙ මහන්නවත් නූල් කපන්නවත් නෙවෙයි... එච් ආර් එකට.. හොඳ පඩියකුත් අරගෙන සැපේ ඉන්න පුළුවන්.. බොස්ගෙ හිත දිනාගෙන හොඳට හිටියොත් ඉතිං සුදු නංගිට හැමදාම සැප තමයි... සදහටම.. ❜❜ ❛❛ මොකක්ද... මට තේරුණේ නෑ අයියේ.... ❜❜ ❛❛ තේරෙයි තේරෙයි ඔහොම යනකොට... යං දැන්.. සම්පත් මහත්තයා එන්න කිව්වා.. අපිට වගේ නෙවෙයිනෙ.. එයාට එක තත්ත්පරෙත් මිලියන ගානක් වටිනවා... මං හින්දමයි සුදු නංගි වෙනුවෙන් මෙහෙම හරි විනාඩි පහක් වෙන් කරන්න මෑන් කැමති වුණේ.... ❜❜ රණේගේ වචන හිස් මුදුනින්ම පිළිගත් සුදීක්ෂා රණේ පසුපසින් ඇදුණෙ සම්පත්ගෙ කාර්යාලයට යන්න... පිළිගැනීමේ නිළධාරිනියන් දෙදෙනා කලකිරීමෙන් හා පසුතැවීමෙන් අනේ අපොයි කියන්න වගේ තමන් දෙස බලා ඉන්න බවක්වත් සුදීක්ෂා දැක්කෙ නෑ.... තම සම්පූර්ණ අනාගතයම ලස්සන වචන කියන රණේගෙ දෑත මත තියන්න තරම් කෙල්ල අසරණ වුණු එකත් පුදුමයක් නෑ... අම්මෙක් අප්පෙක් නැති කෙල්ලට සීරීමක්වත් කරන්න උත්සාහ නොකර ආදරෙන් කතා කළේ රණේ විතරමයිනෙ.... ****************************************** ❛❛ ආහ්... එන්න එන්න... ඉඳගන්න.. ඔන්න රණේ.. රණේගෙ වචනෙ අහක දාන්න බැරි නිසාම මම යාන්තං විනාඩි පහක් වෙන් කරගත්තා... ❜❜ සම්පත් සිනහසෙමින් රණේ සමඟ කතා කළද ඒ ඇස් තිබුණෙ සුදීක්ෂා ළඟ.... ❛❛ මං දන්නවනෙ සර් මගෙ ඉල්ලීමක් නොසළකා ඉන්නෙ නෑ කියලා.. ඇත්තමයි සර්ව මට මගෙ අම්මා තාත්තට වඩා විශ්වාසයි... ❜❜ රණේගෙ වර්ණනා හමුවේ සම්පත් හිනාවුණා විතරයි... ❛❛ මොකක්ද මේ ළම⁣යගෙ නම කිව්වෙ? ❜❜ ❛❛ සුදීක්ෂා සර්.. සුදීක්ෂා සංකල්පනී.. ❜❜ සම්පත්ගෙ පැනයට පිළිතුර ලැබුණෙ නම් රණේගෙන්... ❛❛ අයිසෙ රණේ.. ඉන්ටවීව් එක ත/මුසෙට නෙවෙයි.. මේ ළමයට.. ඔයා ටිකක් එළියෙන් ඉන්න රණේ.. මං මේ වැඩේ ඉවර වෙලා කතා කරන්නම්... ❜❜ සම්පත් තම බලය පෙන්නුවෙ රණේගෙ මුහුණ අඳුරු වෙද්දිමයි... ඒත් මේ සියල්ලම රඟපෑමක් පමණමයි... සුදීක්ෂා කියන අහිංසක කෙල්ලව ගොදුරු කරගන්න කරන රඟපෑමක්.... ❛❛ හරි... මිනිහා ගියානෙ.. මොනවා වුණත් ර⁣ණේ හරි හොඳ එකා... කට පොඩ්ඩක් වැඩියි... එච්චරයි.. දැන් කියන්නකො මොකක්ද ඔය ළමයගෙ නම? ❜❜ සම්පත් ඉතාම කරුණාවෙන් සුදීක්ෂා දිහා බැලුවා... ❛❛ සුදීක්ෂා... ❜❜ ❛❛ සුදීක්ෂා විතරද? ❜❜ ❛❛ සුදීක්ෂා සංකල්පනී ඒකනායක... ❜❜ ❛❛ ශාහ්.... හරි ලස්සන නමක්නෙ.. වයස කීයද දරුවො ? ❜❜ ❛❛ විසි දෙකයි සර්... ❜❜ ❛❛ හානේ... මගේ දූගෙ වයසෙමයි.. එයත් ඔයා වගේම හරි ලස්සනයි.. ඔයාගෙ වගේ දිග කොණ්ඩයක් නම් නෑ.. ඒ වුණාට ඔයා වගේම පිනි ජම්බු ගෙඩියක් වගේ ලස්සනයි...❜❜ මෙතෙක් වේලා බියපත්ව තිබුණු සුදීක්ෂාගෙ හිත ඒ වචන වලින් සැනසුනා... ඒ වචන ඇතුළෙ තිබුණෙ පියෙකුගෙ ආදරය උණුහුම වෙන්නැති කියලයි සුදීක්ෂාට හිතුණෙ... මුල්ම වතාවට සුදීක්ෂා දෑස ඔසවලා හොඳින් සම්පත් දෙස බැලුවා... මැදි වියේ පසු වුණත් කළු කළ හිසකෙස් සහ හොඳින් ඇඳ පැළඳගෙන සිටි ඒ දේහධාරී සිරුරෙන් පෙනුනෙ හරි ප්‍රතාපවත් බවක්..... ❛❛ රණේ කිව්වද ඔයාට අපි දෙන ජොබ් එක මොකක්ද කියලා? ❜❜ ❛❛ නැ... නෑ සර්.. හරියට මොකුත් කිව්වෙ නෑ... ❜❜ ❛❛ හොඳයි.... මෙහෙමයි කෙල්ලෙ දැන් ඇත්තටම අපි ගාව වේකන්සීස් මොකුත්ම නැහැ.. ඕනවටත් වඩා සේවකයො අපි ගාව ඉන්නවා.. ඒත් රණේගෙ ව⁣චනෙ අහක දාන්න බෑනෙ... ඌ හරි හොඳ එකා... ❜❜ ❛❛ අනේ ඔව් සර්... රණේ අයියා මට මගේම සහෝදරයෙක් වගේ... ❜❜ සුදීක්ෂා කිව්වෙ අවංකවමයි... ❛❛ ඒකනෙ.... ඉතිං මං හිතන් හිටියෙ ඔයාව අපේ එච් ආර් එකට දාන්න.. ඒත් දැන් මට හිතෙනවා ඔයා වගේ ලස්සන කෙනෙක් ඉන්න ඕන මගේ ළඟමයි කියලා... මේ සීතල කාමරේ ඇතුළෙමයි කියලා... ❜❜ සම්පත් ඉඳගෙන හිටපු පුටුවෙන් නැඟිටලා ඇවිත් සුදීක්ෂාගෙ උරහිස් මත දෑතම තැබුවා... කෙල්ලට දැණුනෙ මහ බයක්... ඊටත් වඩා අප්පිරියාවක්.... ❛❛ ස... සර්... ඇ.. ඇයි මේ.... ❜❜ ❛❛ මොකද කෙල්ලෙ මේ බය වෙලා? මම ඔයාට දෙන්න හදන්නෙ හොඳ ඔපචුනිටි එකක්... ලක්සරි එපාට්මන්ට් එකක සැප⁣ට ඉන්න ආස නැද්ද? ආ.... මගෙ පර්සනල් ඇසිස්ටන්ට් වෙන්න.... කොලිෆිකේෂන් නැති වුණාට කමක් නෑ... අපි ඒවා ඉන්න ගමන් හෙමීට හදාගමු... කොහොමත් ඔයාට ලොකූ වැඩක් නෑ.. මාව සතුටින් තිබ්බම හොඳටෝම ඇති... ❜❜ සුදීක්ෂාගෙ උරහිස් තම ඇඟිලි තුඩු වලින් තෙරපවමින් ආසාවන් දෑසෙ පුරවගෙන කතා කරපු සම්පත් දැක්කෙ නෑ කෙල්ලගෙ ඇස් දෙක.. ඒ ඇස් වේදනාවෙන් තරහින් කඳුළු වලින් පිරිලා... මුළු මුහුණම රතු වෙලා... මෙච්චර වෙලා බයට වෙව්ලපු කෙල්⁣ලගෙ අත් දෙක දැන් වෙව්ලන්නෙ තරහට... අනාගතේ ගැන හීන බලාපොරොත්තු කන්දක්ම පොදි බැඳගෙන ආපු කෙල්ලට අද කොහෙවත් යන මිනිහෙක්ගෙ ඕනෑ එපාකම් පිරිමහන්නලු.. ඒකත් සුදීක්ෂාගෙම වයසෙ දුවෙක් ඉන්න තාත්තෙක්ගෙම.... කෝටියක් දුන්නත් ඒ තරම් පහතට වැටෙන්න අකමැති කෙල්ලගෙ ඇස් නැවතුණේ මිල අධික මල් පෝච්චියක් ළඟ...... ****************************************** ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නෙ ළමයි... විශ්වාස කරන්න.. ඔයාලා හීනෙකින්වත් නොහිතන අවසානයක් තියෙයි.. _ මම අහිංසා 🌻

0 Comments

No comments yet. Be the first to comment!

Leave a Comment